Pages

Sunday, July 23, 2017

නමක් සොයන කතාවක් - 01 (ඔවුන්ගේ සංස්කරණය නොකල ජීවිත කතාව)



මම කියන්න හදන කතාව ඔහුගෙයි ඇයගෙයි, ඔහු සහ ඇයගේ වටේ ඉන්න කට්ටියගේ කතාව. 
හැබැයි මේ කතාවේ කතා නායකයා ඔහු නම් නෙවෙයි, 
නිසැකවම ඇයත් නෙවෙයි. 
එහෙනම් වටේ ඉන්න අයද. 
නෑ ඒ අයත් නෙවෙයි.

එහෙනම් කවුද මේ කතාවේ කතා නායකයා. වෙන කවුරුවත් නෙවෙයි ඒ මම. මොකද කියනවා නම් මේ කතාවේ ඔහු, ඇය, අනෙකුත් පිරිස සිටියත් කතාව ඔබලාට කියන්නේ මම නිසා මේ කතාවේ කතා නායකයා මම ලෙස මා ඔබට හදුන්වා දෙනවා.

කතාව දිහාට හැරෙන්න කලිං මම හදුන්වා දෙන්නම් ඔහු සහ ඇය.

ඔහු. වයස අවුරුදු 28 ක් විතර වෙන, වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක්. පවුලේ ඉන්න එකම දරුවා ඔහු. ඔහුගේ අම්මා මේ වෙනකොට විශ‍්‍රාම සුවයෙන් කාලය ගතකරන වෛද්‍යවරියක්. එතකොට ඔහුගේ පියා තරු පහේ හොටෙල් එකක කළමණාකරුවෙක්. අපි ඔහුට ෂශින්ද්‍ර කියලා කියමු. මුදලිගේ ෂශීන්ද්‍ර සපුමල් විතාරණ. ඔහුගේ මව සීතාවක මුදියන්සේලාගේ ශීලා වික‍්‍රමතුංග. ඔහුගේ පියා.මුදලිගේ රවීන්ද්‍ර සපුමල් විතාරණ.

එතකොට ඇය. වයස අවුරුදු 26 ක් විතර වෙන, ලංකාවේ ප‍්‍රමුඛ ජංගම දුරකතන සමාගමක තාක්‍ෂණ ශිල්පිණියක්. නම, ගයා ශ‍්‍රී, ගයා ශ‍්‍රි ඉඳුනිල් ෆර්නෑන්ඩස්. දරුවෝ 4ක් ඉන්න පවුලක බඩපිස්සි. ඒ කියන්නේ පවුලේ බාලයා. ඇයගේ මව අශෝකා ජෙරම්ස්. ඇයත් ඔහුගේ මව මෙන්ම වෛද්‍යවරියක්. අවාසනාවකට ඇයගේ පියා නම් ජීවතුන් අතර නෑ.

හදුන්වාදීම මදකට නවතා කතාව දෙසට හැරෙන්නම්, ඒ කියන්නේ ඇයගේ පවුලේ ඉතිරි දෙදෙනා ගැන සහ අනෙක් චරිත ගැන මගේ නොවන මගේ කතාව ගලාගෙන යන අතර කියන්නම්. අවශ්‍යතාවයක් මතු උනොත් විතරක්...

තව ටිකෙන් අමතක වෙනවා විශේෂිතම දේ. මේ කතාව ලියන මට තියනවා දෙවියන් වහන්සේගෙන් ලැබුණ සුවිශේෂි වරයක්. මා හට හැකියාව තිබෙනවා මේ කතාවේ සිටිනවුන්ගේ සිතිවිලි වලට ඇතුලූ වීමට සහ ඔවුන්ගේ ආත්මයන්ට ඇතුලූ විමට. ඉතිං දෙවියන්ට මගේ ස්තුතියත් එක්කම කතාව පටන් ගන්නවා.



1

කතාව පටන් ගන්නවා කියලා කිව්වට ආරම්භයක් හිතා ගන්න බැරි අවුල් ජාලයක් වෙලා මේ කතාව. මෙච්චර කියපු එකේ මූලාරම්භය විදියට මම ඇතුලූ වෙනවා ඇයගේ සිතිවිලි වලට. ඔව් ගයා ශ‍්‍රී ගේ ආත්මයට.

ෂිහ්, අම්මිලා එකක් නුවර එළියේ ටි‍්‍රප් එක යන්න එන්නම් කියලා ප්‍රොම්ස් උනාට මොකද දැන් නම් යන්න බෑ බෑ වගේ. නැ එක්කෝ ඔන්න ඔහේ ගිහිල්ලා එනවා ටේ‍්‍රන් එකේ යන නිසා අලූත් දෙයක් වෙයි. එත් අම්මි කියපු විදියට නම් ගොඩක් දෙනෙක් යන්නෑ වගේ. කවුරු ගියත් මට මොකද.

ඒත් ශීලා ආන්ටි, දෙවියනේ. එතකොට එයත් එනවද. නෑ.. නෑ.. නෑ.. එයා එන එකක් නෑ. ශිලා ආන්ට් අංකල් එකක් ඒවි. එයා කොයි වෙලාවේ බැලූවත් වැඩ වැඩ වැඩමනේ. අනික එයා ආවත් මට මොකද, එයා මගේ කවුද, එයා දැන් වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයිනේ. මම මගේ පාඩුවේ යනවා.

චූටි... චූටි... මේ ළමයා මොන ලෝකෙ ඉන්වද මංදා.

සමාවන්න. මම මේ මොහොතේදී ඇයගේ සිතිවිලි වලින් හා ඇයගේ ආත්මයෙන් සුලූ මොහොතකට ඉවත් වෙනවා. මොකද ඔබට, මට හා සියලූදෙනාටම සේම ඇයටත් ඇගේම පෞද්ගලිකත්වයක් තිබෙන නිසා.

ඇයි අම්මි.... මම බාත් රූම් එකේ. ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්.

ඉක්මනට එන්න ළමයෝ. මේ ඔයාගේ කිරි එක නිවෙනවා. ඉක්මනට ඇවිත් බොන්න. මොනවා කරනවද පැය ගානක් වොෂ් රූම් එකට වෙලා.

කරන්ඩ දෙයක් නෑ. මා නැවතත් ඇයගේ සිතිවිලි වලට ඇතුලූ වෙනවා.

ඔහ් මයි ගෝඞ්. මම එච්චර වෙලා වොෂ් රූම් එකේ හිටියද. වෙලාව ගියා තේරුනේ වත් නෑ. ෂිට්. කොහේවත් ඉන්න මෝඩයෙක් නිසා නිවාඩු දවදේ උදේ පාන්දර අම්මිගෙන් බැනුම් අහන්ඩ උනා. ඒකා දැන් අරයත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න යන්න ලෑස්ති වෙනවා ඇති. මම නිකං බොරුවට අම්මිගෙන් බැණුම් ඇහුවා.



2
හරි. දැන් මම ඇයගේ ආත්මයෙන් සහ සිතිවිලි වලින් ඉවත් වෙලා ඇතුලූ වෙනවා ඩොක්ටර් ශීලා ගේ ඒ කියන්නේ, ඔහුගේ, සරලවම කියනවා නම් ශෂීන්ද්‍රගේ මවගේ සිතිවිලි සහ ආත්මය තුලට.

ඇය සෙමින් සෙම්න් නිවසේ ඉහලමාලය වෙත පියනගනවා තම පුත‍්‍රයා උදේ ආහාර ගන්න පහලට ආවේ නැත්තේ ඇයිද බලන්න. සෙමින් තම පුතුගේ කාමරයේ දොර විවර කරන ඇය දකින්නේ තවමත් සුව නින්දේ සිටින තම එකම පුතු. ඔහුව දකින ඇය ගේ නෙතට කඳුලක් නැගෙන්නේ ඇයටත් නොදැනීම.

දෙවියනේ කොහොමට ඉන්න  ඕනි දරුවෙක්ද. කොහේවත් ඉන්න නගරං කෙල්ලක් නිසා වේදනා විදින්නේ. හිනාවෙලා පිස්සු නටලා හිටියට මේකාගේ හිත ඇතුලේ කොයි තරම් නම් වේදනාවක් තියනවද? මොන කරුමයක්ද මගේ අහිංසක කොල්ලට පඩිසන් දුන්නේ. අර අම්මණ්ඩිලාට නම් හොදක් වෙන්නෑ. මගේ කොල්ලාගේ ජිවිතේ කන්න හැදුවට.

සමාවන්න. ඩොක්ටර් ශීලාගේ සිතිවිලි ගොඩක් දරුණු වෙලා උදේ පාන්දරම. ඇයගේ තත්ත්වයට හා සමාජ මට්ටම සමග ඇයගේ සිතිවිලි මේ මොහොතේ නොගැලපෙනවා වෙන්ඩ පුලූවන්. නමුත් මා දන්නවා ඇයගේ දරුණු සිතිවිලි නිදොස් වග. එය ඇයගේ දාරක මව් සෙනෙහස බව මම නොබියව ඔබට ප‍්‍රකාශ කර සිටිනවා.

පුතූ.... පුතූ... නැගිටින්න. බලන්න ඔයා කිරි එක වත් බීලා නෑනේ. 10 ටත් ළගයි දැන්.

හයියෝ.... මොනාද අම්මා... ගෙදර ආපු දවස් ටිකේ වත් පොඞ්ඩක් නිදාගන්න දෙන්නකෝ.

බලන්න දැන් 10ත් වෙලා. නැගිටලා චොෂ් එකක් දාලා කෑම කාල නිදියන්න. ඔහොම දවල් වෙනකම් නිදාගන්නවද තරුණ කොල්ලො උනාම.

නිදා ගන්නවා ඇරුණාම මොනා කරන්නද අම්මා. අම්මා පහලට යං. මං වොෂ් එකක් දාගෙන එන්නම්.

හ්ම් හ්ම්... එන්නකෝ වොෂ් දාගෙන එහෙනම්. මමත් තාම කාලා නෑ. මටත් බඩගිනියි.

අම්මා මොකට බඩගින්නේ ඉන්නවද. කාලා බීලා ෂපාන් එකේ ඉන්නකො. මොනවයින් අඩුවක්ද..?

හරි හරි පණ්ඩිතකං නැතිව නාගෙන එනවා ඉක්මනට.


ඇය තම පුතුගේ කාමරයෙන් පිටවන්නේ හදවතට දැණුන දුක වේදනාව අහිංසක හිනාවකින් යටපත් කරගෙන. ඇයට තම පුතුගේ අනාගතය ගැන මහ අමුතුම බියක් දැනුනෙන් නැවතත් දෑස් කෙවෙනි තෙත් උනේත්, රුවන්ති කෙරෙහි කෝපයක් සිත පිළිසිඳගත්තේත් ඇයටත් නොදැනීම. මා නැවතත් ඔබට පවසා සිටිනවා වෛද්‍ය ශිලාගේ කෝපය දාරක මව් ස්නේහයේ ප‍්‍රථිඵලයක් බව.

දැන් ඔබට ඇති ගැටළුව රුවන්ති බව මම දන්නවා. ඒත් ඒ ප‍්‍රශ්ණයට තාවකාලික පිළිතුරක් ඔබටම සපයා ගැනීමට ඉඩ හැර මා රවීන්ද්‍ර සපුමල්, වෙනත් විදියකය කියනවා නම් ශෂීන්ද්‍රගේ පියාගේ සිතිවිලි දාමය වෙත ඇතුලූ වෙනවා.
 


4 comments: